07 April 2017

අවසන් අබුඩාබි බ්ලොග් රචකයාත් අත්අඩංගුවට



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසන් මානව හිමිකම් ක්‍රියාධරයා වූ අහ්මඞ් මන්සූර්, බ්ලොග් ලිවීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ. රෑ මැදියමේ බ්ලොග් රචනයේ නියැළෙමින් සිටින විට ආරක්ෂක හමුදාව ඔහුගේ නිවස වටලා නිවසට කඩා පැන ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමේ වරදටය. තවද අත්අඩංගුවට ගෙන විනිසුරුවරයෙක් ඉදිරියට පැමිණවීමකින් තොරවම ඔහු ව මේ වන විට සිරගත කර තිබේ.

පසුගිය මාර්තු 20 වැනිදා සිදුකරන ලද මෙම අත්අඩංගුවට ගැනීම සඳහා දොළොස් දෙනෙකුගෙන් යුක්ත ආරක්ෂක භටයන් පිරිසක් සහභාගි වී ඇත. අහමඞ්ව අත්අඩංගුවට ගැනීමට පෙර මුලු නිවසම සෝදිසිකර නිවසේ තිබූ සෙසු ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපාංග ද රාජසන්තක කරන ලදී.

අහ්මඞ් ට විධිමත් ලෙස චෝදනා ගොනු කර ඔහු ට විරුද්ධව නඩු පවරා ඇති බව බලධාරීන් සනාථ කර තිබෙන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් සතියකට පසු ය. ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව සයිබර් ක්‍රයිම් හෙවත් සයිබර් අපරාධ සිදුකිරීමයි. මේ වන විට ඔහු ව අබුඩාබි බන්ධනාගාරයේ රඳවා තබාතිබෙන අතර තවම ඔහුට සිය පවුලේ අය සමග සෘජුව කතාබස් කිරීමට පවා අවස්ථාවක් ලබා දී නැත.

අහමඞ් සම්මාන දිනූ බ්ලොග් රචකයෙකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ විශේෂයෙන්ම අබුඩාබි අගනුවර සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ දිගින් දිගටම සමාජ ජාල වෙබ් අඩවිවල හඬනැගීමට ඔහු කටයුතු කළේය. එසේම ඇම්නේස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව හිමිකම් තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව වැනි වැදගත් මානව හිමිකම් මෙවලම් සකස් කිරීම සඳහා සක්‍රිය දායකත්වයක් ලබාදුන්නේය. නමුත් බලධාරීන් පවසන්නේ වෛරී කථනය, බොරු ප්‍රචාර සහ තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරයේ ඔහු නියැලුණු බවයි.

අහ්මඞ් මන්සූර් ව නිදහස් කරවා ගැනීම සඳහාත් ඔහුට යුක්තිය ඉටුකරදීම සඳහාත් මේ වන විට ලොව පුරා විසිරී සිටින, හිමිකම් ගරු කරන ජනතාව එක්රොක් වෙමින් සිටිති.

LNW

No comments:

Post a Comment