12 April 2017

හොරුම අහනවා හොරු ඇල්ලුවද කියලා – රංජන්



තමන්ගේ ආසනයවත් ජයගත නොහැකි වූ ඇතැම් “පිං ඇමැතිලාගේ” රජයේ ගමන් මග දෙස විවේචනාත්මකව බලමින් අදහස්‌ ප්‍රකාශ කළත් රජයේ ඉදිරිගමන වැළැක්විය නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ජනපති අගමැති සුසංයෝගය වසර 2020 තෙක්‌ සාර්ථක ඉදිරි ගමනක නියෑළෙන බවත්, රාජපක්‍ෂවරු කුමන ප්‍රකාශ කළත් කෝටි ලක්‍ෂ 9 1/2 ක ණය බරක්‌ රටට ඉතිරි කර ගිය ඔවුන්ගේ “කළු දශකයේ” මතක සහ විනාශ ජනතාවට අමතකව නැති බවත් පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා මේ පවතින රජයට රාජපක්‍ෂවරුන්ගේ “චරිත සහතික” අවශ්‍ය නැති බවද කියා සිටියේය.

මේ රජය කිසිම හොරෙක්‌ව ආරක්‍ෂා කරන්නේ නැහැ. කාගෙවත් “ෆයිල්” හන්ගන්නේ නැහැ. අද හොරු ඇල්ලුවාද කියලා අහන්නේ හොරුම තමයි. අද රටේ නීති පද්ධතියම ස්‌වාධීනව ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුද්දට අපේ රටේ ජනතාවට මීටත් වඩා හොඳින් සමරන්න තිබුණා. අර ණය කන්දරාව නොතිබුණා නම්.
රාජපක්‍ෂවරු තැන තැන එක එක කතා කිය කියා යනවා. ඔවුන් මේ රටේ පාලනයේ සිටියානම් අද පාන් ගෙඩියටත් මේ රටේ මිනිස්‌සු ගහ මරා ගන්න යුගයක්‌ ඇති වෙනවා කියලා විතරයි අපට කියන්න තියෙන්නේ.
දැන් අපට ජී.එස්‌.පී. ප්ලස්‌ දෙන්න අවශ්‍ය වට පිටාව හදලා ඉවරයි. යුරෝපා මාළු තහනම ඉවත්වීම තුළ ඩොලර් කෝටි ගණන් ලාභ ලබනවා. අද අපිට ඇමරිකාව සහ යුරෝපයම උදව් කරනවා. රුසියානු ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමාට සංචාරයට කතා කරලා රටට වැදගත් ගිවිසුම් කිහිපයක්‌ අත්සන් කළා. මේ සියල්ල නිසා අපේ රටේ හෙට දවස ඉතාමත් සුබදායකයි කියලා කියන්න සතුටුයි. පක්‍ෂ දෙකකින් සැදුම්ලත් මේ යහපාලන රජය යන ගමන ඔය “හොර පොල්” විපක්‍ෂයට සමරන්න බැහැ කියලා කියන්න සතුටුයි.

No comments:

Post a Comment