12 April 2017

සංජු සැම්සන්ගේ ශතකය ඩෙයාර් ඩෙවිල්ස් දිනවයි


 සංජු සැම්සන්ගේ වේගවත් ශතකය නිසා රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11 වැනිදා) පුනේහිදී පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් ලකුණු 97 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ඕවර 16.1 ක් අවසානයේ සියලු දෙනා දැව රැස්කරගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි. සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 20 කි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ නායක සාහිර් ඛාන් සහ අමීත් මිෂ්රා කඩුලු 3 බැගින් බිඳහෙළමින් සුපර්ජයන්ට්ස් ඉනිම සුනුවිසුණු කර දැමූහ. ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත් පැට් කමින්ස් සුපර්ජයන්ට්ස් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සාහිර් ඛාන්ට සහ අමීත් මිෂ්රාට අනගි සහයක් දුන්නේය.

කාසියේ වාසිය දිනූ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ආරාධනා කර සිටි අතර නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 205 ක් රැස් කිරීමට ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.

ඩෙයාර් ඩෙවිල්ස් ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ සංජු සැම්සන් පන්දු 63 කදී ශතකයක් ලබාගත්තේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක්ද සමගිනි. සෑම් බිලින්ස් (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංජු සැම්සන්, රිෂාබ් පාන්ට් (31) සමග එක්ව
තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ඩෙයාර් ඩෙවිල්ස් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ක්‍රිස් මොරිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 9 කදී නොදැවී ලකුණු 38 ක් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමිවෙන් ඔබ්බට රැගෙන ගියේය.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 205
(සෑම් බිලින්ස් 24, සංජු සැම්සන් 102, රිෂාබ් පාන්ට් 31, ක්‍රිස් මොරිස් නොදැවී 38)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම – ඕවර 16.1 කදී සියලු දෙනා දැවී 108
(මායන්ක් අගර්වාල් 20, රජත් භාතියා 16, දීපක් චාහර් 14, අමීත් මිෂ්රා 11/3, සාහිර් ඛාන් 20/3, පැට් කමින්ස් 24/2)

1 comment: