08 June 2017

පර්පෙචුවෙල් සමාගමට අභ්‍යන්තර තොරතුරු ලැබී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වෙයි

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අභ්‍යන්තර තොරතුරු ලැබී ඇති බව එම සමාගම වෙනුවෙන් ලංසු තැබූ ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නියෝජිත ජේ.කේ.ඞී.ධර්මපාල ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මේ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (8) සාක්ෂි ලබාදෙමින්.

ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නියෝජිත ජේ.කේ.ඞී.ධර්මපාල ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සිදුවු දිනයේ සිය කාර්යාලයේ ස්ථාවර දුරකතනයෙන් සිදුකළ ඇමතුම්වල හඬ පට ඊයේ කොමිසම හමුවේ වාදනය කෙරුණා.

ඊට අනුව බැඳුම්කර වෙන්දේසිය ආරම්භ වීමෙන් පසු පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සාක්ෂිකරුව අමතා තිබෙනවා.

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් ලංසු තබන ලෙස ඔහු එහිදී ඉල්ලා ඇති අතර, එය විද්‍යුත් තැපෑල හරහා ලිඛිතව යොමුකරන ලෙස සාක්ෂිකරු ඔහුට දන්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, එම තොරතුරු කසුන් පලිසේන යොමුකර ඇත්තේ සාක්ෂිකරුගේ කාර්යාලයීය ජංගම දුරකතනයටයි. එහිදී කොමිසම සඳහන් කළේ මෙම ලංසු තැබීමට අදාළ කරුණු ලිඛිතව යොමු නොකර ලංකා බැංකුව හරහා ලංසු තැබීම සිදුකිරීමට පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම උත්සාහ දරා ඇති බවයි.

ලංකා බැංකුව රුපියල් බිලියන 13 ක එකතුවකින් යුත් ලංසු 03 ක් 12.5% කට වැඩි අනුපාතයකට පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් එදින ලංසු තැබූ බව සාක්ෂිකරු සඳහන් කළා.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර දිනයේ එම නිකුතුවේදී මහ බැංකුව එකඟ වූ අනුපාතයම ඉදිරිපත් කරමින් ලංසුවක් තබන ලෙසට මහ බැංකු නිලධාරියෙකු ලංකා බැංකුවට පැමිණි බවද සාක්ෂිකරු සඳහන් කළා.

ඔහු තවදුරටත් කියා සිටියේ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අභ්‍යන්තර තොරතුරු මහ බැංකුවේ නිලධාරීන්ටද ලැබී ඇති බව මෙම සිද්ධියෙන් පෙනී යන බවයි.

No comments:

Post a Comment