13 July 2017

සියලුම උත්සවවලදී පොලිතීන් තහනම්

 ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සව සැරසිලි කටයුතු වලදී පොලිතීන් භාවිතය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ පොලිතින් මගින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතීන් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමත් සමගිනි.

පොලිතීන් හා ප්ලාස්ටික් මගින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීමේ අරමුණින් ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත කෙටි කාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට පරිසර ඇමති වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

කෙටි කාලීන යෝජනා

මයික්‍රෝන 20 ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතීන් භාවිතය, විකිණීම හා නිෂ්පාදනය තහනම් කරමින් දැනට නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසිය එලෙසම ක්‍රියාත්මක කිරීම.

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා මයික්‍රෝන 20 ට අඩ පොලිතීන් භාවිතය මධ්‍ය පරිසර අධිකාරියේ අනුමැතිය මත පමණක් සිදු කිරීමට අවසර දීම.

ආහාර එතීම සඳහා භාවිතා කරන දවටන (Lunch Sheets) දේශීය භාවිතය සඳහා ආනයනය, නිෂ්පාදනය හා විකිණීම තහනම් කිරීම.

පොලිස්ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි, ප්ලාස්ටික් පිඟන් කෝප්ප සහ හැඳි ආනයනය, නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය තහනම් කිරීම.

පොලිතින් වලින් සාදන ලද කවරවල බහා සකසන ලද හෝ පිසූ ආහාර විකිණීම තහනම් කිරීම.

භාණ්ඩ මිලදී ගන්නාඅවස්ථාවලදී පාරිභෝගිකයින් වෙත ලබා දෙන ලද පොලිතීන් ඇසුරුම් වලට විකල්ප වශයෙන් කඩදාසි, පන්, රෙදි වැනි පරිසර හිතකාමී ඇසුරුම් මලු ලබා දීම හා එවැනි ඇසුරුම් නිෂ්පාදනයේදී ජෛව හායනයට ලක් වීම මගින් දිරාපත් වන ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම.

විවෘත භූමි වල පොලිතීන් හා ප්ලාස්ටික් පිළිස්සීම තහනම් කිරීම.

ජෛව හායනයට ලක් වන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම.

මධ්‍යකාලීන ක්‍රියාකාරකම්

ජෛව හායනයට ලක් වන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදන කටයුතු සිද කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමේදී බදු සහන හා බදු සහන ලබාදීමටත්,
ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හා ප්ලාස්ටික් භාණ්ඩ ආනයනයේදී 15% ක සෙස් බද්ධක් අය කිරීම.

දීර්ඝ කාලීන ක්‍රියාකාරකම්

 
ප්‍රතිචක්‍රීකරනය කරන ලද ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම.

No comments:

Post a Comment