13 July 2017

මුල් මාස හයට සංචාරකයෝ දස ලක්ෂයක්

මේ වසරේ මුල්  මාස හය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ  සංචාරකයින් දස ලක්ෂ දහ දහස් හාරසිය හතළිස් හතර (1 010 444) දෙනෙකු පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ  නවතම දත්ත වල සඳහන් වේ.

පසුගිය වසරේ මුල් මාස හය හා සැසඳීමේදී මෙය 4.8 %ක වර්ධනයක් යැයිද එම අධිකාරිය සඳහන් කරයි.ඉකුත් වසරේ පළමු මාස හය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ හැටහතර දහස් දෙසිය හැටහතකි (964 267).

ජනවාරි හා ජූනි මාස දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව සැලකීමේ දී වැඩිම සංචාරකයින් ගණනක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එය 172,894 කි. චීනයෙන් සංචාරකයින්  134,744 ක් මෙරටට පැමිණ ඇත.

මේ වන විට රට තුළ ව්‍යාප්ත වී ඇති ඩෙංගු වසංගත රෝග තත්ත්වය නිසා හා මුල් මාස කිහිපය තුළ මෙරට ප්‍රධානතම ගුවන්තොට වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවීකරණ කටයුතු හේතුවෙන් ගුවන්ගමන් සීමාකිරීම නිසා පැමිණි සංචාරකයින්ගේ පහළ යාමක් පෙබරවාරි, මාර්තු මාසවල දී වාර්තා වී තිබිණි.

මේ හේතුවෙන් ලක්ෂ 25 ක විදෙස් සංචාරක ඉලක්කය සපුරා ගැනීම අභියෝගයක් වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

No comments:

Post a Comment