22 July 2017

ගිටාරය වයමින් මොළයේ සැත්කමට මුහුණ දුන් සංගීතඥයෙක් | VIDEO

මොළයේ සැත්කමකට ලක්වන අතරතුරදී ගිටාරය වාදනය කළ සංගීතඥයකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා.

අභිෂේක් ප්‍රසාද් නමැති මේ සංගීතඥයා බැංගලෝරයේදී සැත්කමකට යොමුවූයේ පාලනයකින් තොරව තම සිරුරේ ඇතිවන වේදනාත්මක ගැස්ම, ඇඹරීම සහ නැවත නැවතත් සිදුවන චලන හෝ අසාමාන්‍ය ඉරියව් සම්බන්ධයෙන් ප්‍රතිකර්මයක් යෙදීම සඳහායි.

ඒ අනුව අදාළ සැත්කම ක්‍රියාත්මකවන අතරේදී ප්‍රසාද්ගේ මොළයේ යම් පද්ධතියක් “අවුළුවන” සෑම අවස්ථාවකදීම ගිටාරය වයන ලෙස වෛද්‍යවරුන් විසින් ඔහුගෙන් ඉල්ලා තිබුණා.

ප්‍රසාද් විදෙස් මාධ්‍ය අමතමින්ට දැන් තමන්ට වඩාත් පහසුවෙන් ගිටාරය වාදනය කළ හැකි බව ප්‍රකාශ කළා.

‘මියුසිෂන්’ස් ඩිස්ටෝනියා’ (musician’s dystonia) යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන රෝගී තත්ත්වයට ලක්වූ අභිෂේක් ප්‍රසාද් හට ගිටාරය වැයීමේදී සිය වමතේ මැදැඟිල්ල, වෙදැඟිල්ල සහ සුලැඟිල්ල චලනය කිරීම අපහසු ව තිබුණා.

“මං හිතුවේ අධික පුහුණුව නිසා මෙවැනි දරදඬු වීමක් සිදුවී ඇති බවයි. විවේකයක් ගැනීමෙන් අනතුරුව යළිත් උත්සාහ කළත් මට තේරුම් ගියා ඒ තත්ත්වයේ වෙනසක් නැති බව. මාංශපේශි අධික වෙහෙසට පත්වීම නිසා මෙසේ වන්නට ඇතැයි කී සමහර වෛද්‍යවරු වේදනා නාශක, විටමින් වර්ග, භෞතචිකිත්සාව ආදී නොයෙක් දේ දුන්නා” ප්‍රසාද් ප්‍රකාශ කළා.

මීට මාස නවයකට ඉහතදී ස්නායු විශේෂඥයකු නිවැරදිව නිශ්චය කළ ආකාරයට අභිෂේක් ප්‍රසාද් ට ඩිස්ටෝනියාව වැළඳී  තිබුණා.

“මොළයේ සැත්කමකට ලක්කළ යුතු යැයි කීවිට මං භය වුණා. නමුත් මගේ වෛද්‍යවරයා, ශරන් ශ්‍රීනිවාසන් මට විශ්වාසය දුන්නා” ප්‍රසාද් පැවසුවා.

සැත්කමේ සෑම අවස්ථාවක්ම තමන්ට අතිශය පැහැදිලිව මතක ඇති බව මේ සංගීතඥයා පැවසුවා.

එම්ආර්අයි ස්කෑන් පරීක්ෂාවකට පෙර, හිස්කබල කපා විවෘත කිරීම සඳහා ඇණ හතරකින් යුතු රාමුවක් තම හිසට සවි කල බවත් එමගින් මොළය ඇතුල් පද්ධතිය නිවැරදි කිරීම සඳහා කෙතරම් ගැඹුරට ඉලෙක්ට්‍රෝඩ ඇතුළු කළ යුතුද යන්න නිශ්චය කරගැනීමට එම ස්කෑන් පරීක්ෂාව  සිදුකල බවත්ක ඔහු පැවසුවා.

“සැත්කම අතරතුරදී මාව විදුලි ජනක යන්ත්‍රයක් සේ මට දැනුනත්, වේදනාවක් දැනුනේ නැහැ” යනුවෙනුත් ඔහු කියා සිටියා.

“අවශ්‍ය කොටස විතරක් නිර්වින්දනය කර ශල්‍යකර්මය කළ නිසා රෝගියාට වේදනාව දැනුනේ නැහැ” යැයි වෛද්‍ය ශ්‍රීනිවාසන් සඳහන් කළා.

හිස්කබලේ මිලිමීටර 14ක සිදුරක් සැකසීමෙන් අනතුරුව එතුළට සුවිශේෂී ඉලෙක්ට්‍රෝඩයක් ඇතුළු කළ බව කී වෛද්‍ය ශ්‍රීනිවාසන් “ඉලක්කගත කොටස තිබුනේ මොළයේ සෙන්ටිමීටර 8ත් 9ත් අතර ගැඹුරින්” බවත් විදෙස් මාධ්‍ය අමතා පැවසුවා.





No comments:

Post a Comment