21 April 2017

බැඳුම්කර කොල්ලයේ පාඩුව පියවන්න 28% ක බද්දක්


 ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව එම අරමුදලේ ආයෝජන ආදායමටත් එය රඳවා තබා ගැනීමටත් සියයට 28ක බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කරයි.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට සියයට 14කුත්, එම අරමුදල රඳවා තබා ගැනීමේ බද්ද ලෙස සියයට 14කුත් යන ආකාරයට මෙලෙස සියයට 28ක බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව එම සංගමයේ සභාපති, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පවසයි.

මේ බද්ද හරහා සේවක අර්ථසාධක අරමුදලට හිමිකම් කියන එක් සේවකයකුට රුපියල් 20,000කට ආසන්න මුදලක් අහිමි වන බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට මෙතෙක් නාමිකව පනවා තිබූ සියයට 10 බද්ද මෙතෙක් අය නොකළත් එය හර සහ බැර සටහන් පොත්වල සටහන් කර ඇති බවත් එම සියයට 10 බද්ද මේ ආකාරයට සියයට 14 දක්වා ඉහළ දමා ඇති බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ මේ බදු පැනවීමේ ක්‍රියාමාර්ගයට විරෝධය පා මහ බැංකු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දුන්නත් ඊට කන් නොදී මේ පනත සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය ඇතුළු රජය කටයුතු කරමින් සිටින බවයි.

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායම 2016 වසරේ රුපියල් බිලියන 140 ඉක්මවා තිබිය යුතු අතර දළ වශයෙන් රුපියල් බිලියන 150ක ආයෝජන ආදායමක් ලැබුවත් සියයට 25කට ආසන්න බද්දක් අය කළත් ඊට රුපියල් බිලියන 42ක බද්දක් වදින බවද හෙතෙම පවසයි.

දැනට ගිණුම් වාර්තාවලට අනුව එකී අරමුදලේ ආයෝජන ආදායම් බද්ද සඳහන්ව ඇත්තේ 2013 වසරේ පමණක් බව පවසන සමරසිංහ මහතා වහාම මේ බදු ඉහළ දැමීමේ ක්‍රියාමාර්ගය හකුළා දැමීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බව කියයි.

No comments:

Post a Comment