21 April 2017

මුම්බායි පංජාබ් කණ්ඩායමට එළවා පහර දෙයි



ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට මුම්බායි කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 198ක් රැස්කළේ කඩුලු 4ක් වැයකරමිනි. විස්සයි20 තරගවලදී සිය මංගල ශතකය වාර්තා කළ දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා නොදැවී ලකුණු 104ක් රැස්කළේ පන්දු 60කිනි. ඔහු ලසිත් මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්කළ අතර ලකුණු 104න් 51ක්ම වාර්තා කළේ මාලිංගට එරෙහිවය. ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 16කි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් ඇතුළත් විය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ නායක ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18කදී ලකුණු 40ක් වාර්තා කළේ පහර හයේ තුනක් හා හතරේ පහර 4ක් සමගිනි.

ලකුණු 199ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගයේ පන්දුවාර 15.3කදී ඉලක්කය පසුකර ගියේ කඩුලු දෙකක් පමණක් වැය කරමිනි.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටයට පිවිසි පර්තීව් පටේල් හා ජෝස් බට්ලර් පන්දුවාර 5.5කදී ලකුනු 81ක් රැස්කරමින් තරගය තම කණඩායම දෙසට ලබාගත්තේය. පාර්තීව් පටෙල් පන්දු 18කදී ලකුණු 37ක් රැස්කළ අතර බට්ලර් පන්දු 37කදී ලකුණු 77ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් ඇතුළත් විය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ නිටිෂ් රානා පන්දු 34කදී ලකුණු 62ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කිරීමට කටයුතු කළේය. ඔහු හයේ පහර හතක් වාර්තා කළේය.

ලසිත් මාලිංග මෙම තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ පන්දුවාර හතරට ප්‍රතාවාදී ක්‍රීඩකයන් ලකුණු 58ක් රැස්කිරිමට සමත්විය. තරගයේ විරයා ලෙස ජෝස් බට්ලර් සම්මාන ලැබිය.

No comments:

Post a Comment