21 April 2017

කොටස් වෙළෙඳ පොළ අප්‍රේල් මස ඉහළ යෑමක්



මෙම අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා ඇති අතර, කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය අප්‍රේල් මාසය තුළ මේ දක්වා 6.3% කින්ද, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 6.7% කින්ද ඉහළ ගොස් තිබේ. පසුගිය කාලය පුරාවට පහත වැටී ඇතැයි වාර්තා වූ කොටස් වෙළෙඳ පොළ මේ අනුව නැවත වතාවක් සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගනිමින් සිටියි. මෙම 2017 වසර තුළ දැනට කොටස් වෙළෙඳ පොළේ ඉහළ යාම 3.5% ක් වන අතර, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 5% ක් ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසය තුළ පමණක් සමස්ත මිල දර්ශකයේ ඉහළ යාම ඒකක 384 කි.

කොටස් වෙළෙඳ පොළේ මෙම ඉහළ යාමට විශාල ලෙස දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන්ගේ මිලදී ගැනීම් ය. මේ වසර තුළ දැනට විදේශීය ආයෝජකයන් ශුද්ධ වශයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ රු.බිලියන 12.2ක් ආයෝජනය කර ඇත. ශුද්ධ ආයෝජනය යනු විදේශීය ආයෝජකයන් සිදුකළ කොටස් මිලදී ගැනීම් හා විකිණීම් අතර වෙනසයි. ඒ අනුව, මේ වසර තුළ දැනට විදේශීය ආයෝජකයන් කොටස් මිලදීගත් වටිනාකම කොටස් විකිණූ වටිනාකමට වඩා රු.බිලියන 12.2ක් ලෙස වාර්තා වෙයි.

විදේශීය ආයෝජකයන්ගේ මෙම කොටස් මිලදී ගැනීම කොටස් වෙළෙඳ පොළේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත. මේ වසර තුළ දැනට කොටස් වෙළෙඳ පොළේ මුළු පිරිවැටුමෙන් 51.7% කට දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන්ය. ඒ අනුව, වර්ෂ 2008 න් පසුව මුළු පිරිවැටුමට විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය 50% ඉක්මවූ ප්‍රථම අවස්ථාව ලෙස මේ වසර හැඳින්විය හැකිය.

කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය හැදෑරීමේදී පෙනීයනු ලබන්නේ බොහෝ අවස්ථාවලදී කොටස් මිල ගණන් පහළ වැටුණු විට විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමට පෙළඹීමයි. එනම්, කොටස් වෙළෙඳ පොළ පහළ වැටුණු විට බොහෝ අවස්ථාවලදී දේශීය ආයෝජකයන් කොටස් විකිණීමට පෙළඹෙන අතර, විදේශීය ආයෝජකයන් සිදුකරනු ලබන්නේ කොටස් මිලදී ගැනීමයි. උදාහරණයක් වශයෙන් වර්ෂ 2007 දී කොටස් වෙළෙඳ පොළ 6.7% ක් පහළ වැටුණු අතර, එම වසර තුළ වාර්තා වූ විදේශීය ආයෝජකයන්ගේ ශුද්ධ ගැනුම් ප්‍රමාණය රු.බිලියන 11.2ක් විය. වසර 2008 දී කොටස් වෙළෙඳ පොළ 41% ක් පහළ වැටුණු අතර, එම පහළ යෑම ප්‍රයෝජනයට ගත් විදේශීය ආයෝජකයන් විසින් කොටස් වෙළෙඳ පොළ තුළ රු.බිලියන 14ක ශුද්ධ මුදල් ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ලදී. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළ 7.1% ක් පහළ වැටුණු වර්ෂ 2012 දී ශුද්ධ විදේශීය ගැනුම් ප්‍රමාණය රු.බිලියන 37 කි. මේ අතර, පසුගිය 2016 වසරේදී කොටස් වෙළෙඳ පොළ 9.7% ක් පහළ වැටෙන විට විදේශීය ආයෝජකයන් විසින් රු.මිලියන 383ක් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ලදී.

මේ වසර තුළ දැනට විශාල වශයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇති විදේශීය ආයෝජන ඇමෙරිකානු කලාපයෙන් පැමිණ ඇති අතර, එම කලාපයෙන් වාර්තා වී ඇති මිලදී ගත් කොටස් වටිනාකම රු.බිලියන 8 ඉක්මවා ගොස් ඇත. මීට අමතරව. යුරෝපය තුළින් කොටස් වෙළෙඳ පොළ තුළ සිදුව ඇති කොටස් මිලදී ගැනීමේ වටිනාකම රු.බිලියන 6 ඉක්මවා ගොස් ඇත. මෙසේ ඇමෙරිකානු හා යුරෝපීය විදෙස් ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ තුළ ක්‍රියාකාරී වීම කොටස් වෙළෙඳ පොළ පැවැත්මට හිතකරව බලපා ඇති බවද සඳහන් කළ හැකිය.

No comments:

Post a Comment