09 April 2017

ඇමෙරිකා - රුසියා - සිරියා තුන් කට්ටුවේ නාඩගම



සිරියානු ගුවන් කඳවුරක් වෙත ඇමෙරිකානු මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලවීම සම්බන්ධයෙන් රුසියාවේ විරෝධය පෑම කෙරෙහි ඇමෙරිකාව කණස්සල්ල දැක්වීමේ පුවතට විදෙස් මාධ්‍ය ප්‍රමුඛත්වයක් ලබාදී තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පතුරු ගැසූ ප්‍රධාන දහරාවේ මාධ්‍ය පවා මෙම පුවතට විශේෂ හුවාදැක්වීමක් ලබාදෙමින්, හිටිහැටියේම දුෂ්ටයා වීරයා කර ඇත.

සිරියානු රජයේ හමුදා එල්ල කළේ යැයි කියන රසායනික අවි ප්‍රහාරයකට විරෝධය පෑමක් ලෙස ඇමෙරිකාව පසුගිය 7 වැනිදා මිසයිල ප්‍රහාර 50කට වැඩි ප්‍රමාණයක් සිරියානු ගුවන් කඳවුරක් වෙත එල්ල කර තිබුණි.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද සඳහන් වූ අතර, මෙය ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමේ ප්‍රහාරයක් බව රුසියාව චෝදනා කළේය.

ඇමෙරිකාව තම න්‍යාය පත්‍රය පමණක් යොදා ගනිමින් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බව රුසියාව එහිදී අවධාරණය කර තිබුණි.

කෙසේ වෙතත්, රුසියාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව කණස්සල්ල පළ කර තිබූ අතර, අසාද් පාලනයට රුසියාව තවදුරටත් සහාය දක්වන බව එම ප්‍රකාශයන්ගෙන් ප්‍රකට වන බවද ඇමෙරිකාව අවධාරණය කර තිබුණි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උදව්පදව් කළේ යැයි කියන රුසියාව සම්බන්ධයෙන්ම ට්‍රම්ප් පාලනය මෙවැනි දෝෂ දර්ශනයක් සිදුකිරීමද විශේෂත්වයක් වන අතර, මේ උඩු යටිකුරුවීම හරහා ඇමෙරිකානු ට්‍රම්ප් විරෝධයද හීන වන බව පෙනෙන්නට තිබෙන බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් සිරියාවට විශේෂ ගුවන් ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරන බවට රුසියාව අවධාරණය කර තිබීමද විශේෂත්වයකි.

එමෙන්ම, යම් ලෙසකින් රසායනික අවි ප්‍රහාරයක් එල්ලවීද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන ඉරානය වෙත රුසියාවේ ඇරයුම් ලබාදීමද ඇමෙරිකාවේ කෝපය දෙගුණ තෙගුණ කර ඇත.

No comments:

Post a Comment