14 June 2017

2016දී ලක්ෂ 6ක් HIV පරීක්ෂා කරලා

 මේ වසරේ ගෙවීගිය කාලය තුළදී පුද්ගලයන් ලක්ෂ 06ක් එච්.අයි.වී. රෝග පරීක්ෂාවන් සිදුකරගෙන ඇතැයි ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

මෙම පරීක්ෂාවන්තුළින් පරීක්ෂණ ලක්ෂයකට අධික ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ රසායනාගාර තුළින් සිදුකර ගෙන ඇතැයිද එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ මෙම කාලය තුළදී එච්.අයි.වී. රෝගපරීක්ෂාව සිදුකර ගෙන තිබුණේ පුද්ගලයන් ලක්ෂ 05කට ආසන්න ප්‍රමාණයක් බවත්, මේ අනුව සිදුකරන දැනුවත් කිරීම්වලට අනුව රෝග පරීක්ෂාවන් සිදුකරගැනීමට ජනතාව පෙළඹී සිටින බවත් ඔහු පවසා සිටියේය.

වෛරසය මුල් අවස්ථාවේදී හඳුනාගතහොත් රෝගය පාලනය කරගැනීමට හැකියාව තිබෙන බවත්, මේ නිසා යම් හෝ සැකයක් පවතීනම් ළගම පිහිටි ප්‍රධාන රෝහලට ගොස් හෝ පෞද්ගලික අංශයේ පර්යේෂණාගාරයකට ගොස් අදාළ පරීක්ෂාව සිදුකරගන්නා ලෙසද වෛද්‍ය සිසිර ලියනගේ මහතා ඉල්ලා සිටියි.

මෙම කාලය තුළ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී එච්.අයි.වී. වෛරසය වැලඳුණු 120ක් හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.

විදේශගතව සිට පැමිණෙන අය මෙම රෝග පරීක්ෂාව සිදුකර ගැනීමට උනන්දු විය යුතු බවත්, එවැනි උනන්දුවක් දක්නට නොමැති බවද පවසා සිටියේය.

No comments:

Post a Comment