14 June 2017

සිංහල බෞද්ධයකු ලෙස ඉපදීම ගැන ධර්මසිරි බණ්ඩාරනායක කම්පා වෙයි| VIDEO

මේ වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එල්ල වෙමින් පවතින ප්‍රහාර හේතුවෙන් රට දශක හතරකට පෙර පැවැති භීෂණකාරී තත්වයකට යළිත් වරක් අදවැටීමේ පසුබිමක් නිර්මාණය වීමට ඉඩ ඇති බවට ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක අනතුරු අඟවයි.

රට යළි වරක් එවැනි තත්වයකට පත් වුවහොත් සමාජය මහා විනාශයකින් කෙළවර වන බවයි ඔහු පවසන්නේ.

වර්තමානයේ ඇමැතිවරුන් වශයෙන් කටයුතු කරන ඇතැම් අය පවා රටේ පෙර පැවැති තත්වයක් ඇති කිරීම සදහා යටින් කටයුතු කරන බව ඔහු පවසා සිටියේ ගගන හා සංවාදයකට එක්වෙමිනි.

වසර 30 ක් තිස්සේ පැවැති යුද්ධය ආරම්භ වීමට පෙර එවැනි තත්වයක් ඇතිවීමට යන බව කල්තියා හදුනාගෙන එය නැවැත්වීමට උත්සාහ ගත් පිරිස් ජාතිද්‍රෝහීන් හා කොටි හිතවාදීන් ලෙස හංවඩු ගැසුන බව ධර්මසිරි බණ්ඩාරනායක වැඩි දුරටත් පෙන්වා දෙයි.

බුදුන් වහන්සේගේ දර්ශනය පදනම් කරගත් ආගමක් පවතින රටක් මේ ආකාරයෙන් හැසිරෙන්නේදැයි ප්‍රශ්න කරන ඔහු අවධාරණය කර සිටින්නේ රටේ සෙසු ආගමිකයන් හිංසාවට පත් කරමින් රට බෞද්ධ සිංහල සාමාජයක් ලෙස හදුන්වන්නේ කුමන පදනමකින්ද යන්නයි.

වසර 30 ක යුද්ධයකින් බැට කා තමන්ගේ සමීපතමයන් අහිමි වී සිටියදී ඔවුන් සැමරීමට ඇති අයිතිය නීතියට නැති කළ හැකිද යන්න ඔහු නගන තවත් ප්‍රශ්නයකි.

රට මේ වන විට පත්ව සිටින තත්වය අනුව එවන් ජාතියක ඉපදීම සම්බන්ධයෙන් කණගාටු වන බව‍ පවසන ඔහු අවධාරණය කරන්නේ අනෙකාගේ ජාතිය කුමක්ද යන්න තමන්ට වැදගත් නොවන බවයි. 


රේඩීයෝ ගගන

No comments:

Post a Comment