14 June 2017

කැලණිය විශ්වවිද්‍යාලයෙන් පිළිකාවට පිළියමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලයිකන අන්තර්ගතයේ වර්ධනය වන එන්ඩොලයිකන දිලීරවල පිළිකා නාශක ගුණයක් පවතින බව සොයාගෙන තිබේ.

2006 වර්ෂයේ ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙස්ලි ගුණතිලක මහතා සමග සිදුකළ පර්යේෂණයකින් එන්ඩොලයිකන දිලීර ඖෂධීය ගුණ සහිත ජෛව සක්‍රීය සංයෝග සාදන බව ලෝකයේ ප්‍රථම වරට සොයාගනු ලැබුවේද මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය විසිනි.

ලයිකන විශේෂ වෙන වෙනම එකතු කර ඒවා නැවත කෘත්‍රිම මාධ්‍යවල වර්ධනය කර එමගින් එන්ඩොලයිකන දිලීර වෙන්කර පර්යේෂණ සිදුකෙරේ. ඇල්ගියක් සහ දිලීරයක් එකතු වී සාදන සහජීවනය තුළින් ලයිකනයක් සෑදෙන අතර, එහි පටක තුළ නිදහසේ ජීවත් වන දිලීරය එන්ඩොලයිකන දිලීර ලෙස හඳුන්වයි. ලයිකන යනු ශාක කඳක්, ගල් පර්වත ආදී ස්ථානවල හටගන්නා ජීවී කොට්ඨාසයකි.

පිළිකාකාරක සෛල විනාශ කිරීමට හැකියාවක් ඇති සංයෝග මෙම එන්ඩොලයිකන දිලීරවල ඇති බව හඳුනාගෙන ඇති අතර, ඒවා වැඩිදියුණු කර ඒවායෙහි යාන්ත්‍රණය සෙවීමටද මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය බලාපොරොත්තුවෙන් සිටියි.

වසර 02ක් පුරා මෙම පර්යේෂණ කටයුතු සිදුකර ඇති අතර, දිලීර 300කට අධික ප්‍රමාණයක් මේ වනවිට වෙන්කර ඇති බවත්, ඉදිරියේදී ඖෂධයක් මට්ටමට වැඩිදියුණු කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුකරන බවත් මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය පවසා සිටියාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යාව සහ ජෛව තාක්‍ෂණ ආයතනයේ ආචාර්ය සමීර සමරකෝන්, ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ලයිකන විශේෂඥ ආචාර්ය ගෝතමී වීරකෝන්, කැලණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය රේණුකා අත්තනායක යන මහත්ම මහත්මීන් මෙම පර්යේෂණ කටයුතු සඳහා දායකත්වය ලබාදී තිබේ.

No comments:

Post a Comment