19 June 2017

සියදිවි හානිකර ගැනීමේ සිදුවීම් වාර්තා කිරීමෙන් වළකින්න

 සියදිවි හානි කරගැනීමේ සිදුවීම් විවිධ මාධ්‍යයන් හරහා විකාශනය වීම තුළ මෙවැනි සිදුවීම් සඳහා යම් ආකාරයක පෙළඹවීමක් ඇති විය හැකි බැවින් එවැනි සිදුවීම් වාර්තා නොකරන ලෙස ළමා ආරක්ෂක අධිකාරිය සියලු මාධ්‍යයන්ගෙන් හා සමාජ මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මගින් සිදුවන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිදුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීමය.

එමෙන්ම මෙවැනි කාරණා දිගින් දිගටම ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වීම, ප්‍රශ්න සහගතව සිටින ඇතැම් පුද්ගලයන්ට සියදිවි නසාගැනීමට රුකුලක් සපයන්නකි. මෙය මනෝ විද්‍යාත්මකව සලකා බැලීමේදීද දක්නට ලැබෙන තත්ත්වයකි.

විශේෂයෙන් යම් පුද්ගලයෙකුට මානසිකව අපහසුතා ගෙන දෙන කාරනා වෙතොත් ඒ පිළිබඳව උපදේශන සේවා ලබාගැනීමේ යාන්ත්‍රනයක්ද මෙරට තුළ ක්‍රියාත්මක වේ. ඒ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ ආයතන ක්‍රියාත්මක වේ.

වයස අවුරුදු 18ට අඩු අයෙකුට මනසට පීඩා ගෙනදෙන යම් ගැටලුවක් වෙතොත් එය විසඳා ගැනීම සඳහා සහය දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බැඳී සිටී. ඒ වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ මනෝ සමාජීය ඒකකයක්ද ක්‍රියාත්මක වේ. එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන් වෙතින්ද එම සහය ඕනෑම ළමයෙකුට ලබාගත හැකිය.

තමා මුහුණදෙන විවිධ ගැටලුවලදී සිය ජීවිතයෙන් වන්දි නොගෙවා අවශ්‍ය උපදේශන සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් ඇතුළු සියලු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment