19 June 2017

ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවයි

කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක්. සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබේ. මේ සඳහා නෙදර්ලන්තයේ තාක්ෂණික ආධාර වැඩසටහන යටතේ එරට මහජන – පෞද්ගලික සම්බන්ධතා උපදේශකවරු සහයෝගය ලබා දෙති.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සඳහා මාර්ග තුනක් සකස් කෙරේ. ඒ අනුව වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා (IW-1) , කොටුව සිට යුනියන් පෙදෙස (IW-2) සහ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා (IW-3) මෙම යාත්‍රා යෙදවීමට නියමිතය.

පළමු අදියර යටතේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා කොටස මැරීන් ඩ්‍රයිව්, ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර, නාවල පාර සහ පාර්ලිමේන්තු පාර ප්‍රධාන මාර්ග 6 ක් ඔස්සේ කඩිනමින් නිම කිරීමට අපේක්ෂිතය.

දෙවැනි අදියර යටතේ කොටුව සහ යුනියන් පෙදෙසේ වාණිජ ස්ථාන දක්වා මාර්ග තදබදය වැඩි වේලාවන්වල දී කාලය ඉතුරු කරගනිමින් ගමන් කළ හැකි මගී යාත්‍රා පද්ධතියක් සකස් කිරීමට නියමිතය.

මෙහි තෙවැනි අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා කැලණි ගංඟාව ආශ්‍රිතව ලෝලෙවල් මාර්ගය ආවරණ වන පරිදි සකස් කරන කොටසයි.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් තවමත් මෙය ආරම්භක අදියරේ පවතින බැවින් ටෙන්ඩර් ලබාගැනීම පමණක් සිදුවන බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.


No comments:

Post a Comment