19 June 2017

ඩෙංගු මඬින්න ඔස්ට්‍රේලියානු බැක්‌ටීරියාවක්‌

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්‌ටීරියාව ශ්‍රී ලංකාවේද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පරීක්‍ෂණ පවත්වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

එම බැක්‌ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක්‌ ඇති අතර එය දැනට වියට්‌නාමය, ඉන්දුනීසියාව, වැනි රටවල අත්හදා බලා ඇත. මෙම බැක්‌ටීරියාව කෘෂිකර්ම කටයුතුවලටද යොදා ගනු ලබන බව ඒ පිළිබඳ පර්යේෂණ කළ ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ මෙම පරීක්‍ෂණ ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්‌ටීරියාව ඇතුළු කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන මස ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමටද නියමිතය. නව තාක්‌ෂණය ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.


No comments:

Post a Comment