25 July 2017

ඇමති රාජිතගේ උද්දච්චකම ආණ්ඩුව අරාජික කරයි; රට පුරා වෛද්‍ය වර්ජන

වත්මන් යහපාලන රජයේ සෞඛ්‍යය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න විසින් ‘සයිටම් ප්‍රශ්නය’ විසඳනු වෙනුවට එය දිගින් දිගටම අවුල්කරමින් කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුව අරාජිකත්වයට පත්වෙමින් තිබෙන අතර එහි පීඩනය සහ අපහසුතාවයට ජනතාව මුහුණදෙමින් තිබේ. මේ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25 වැනිදා) දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ දැරූ වෑන් රථයේ තොරතුරු, ඒ සමඟ පැමිණි පිරිස කවුරුන්ද? පැහැර ගැනීමට උත්සාහ කළේ කාගේ නියෝග අනුවද, චෝදනා නිශ්චිතව ගොනු නොකර අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් ඊයේ (24 දා) නිදහස්‌ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගත හැකි සභාපතිවරයකු පත් කිරීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට්‌ කිරීමට අදාළ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීම, සයිටම් ආයතනයට තවදුරටත් ශිෂ්‍යයන් බඳවා ගැනීම නතර කිරීම හා උපාධි ප්‍රදානය නතර කිරීමට අදාළ නීතිමය ලියවිල්ලක්‌ ප්‍රකාශ කිරීම ඊයේ දිනය ඇතුළත ඉටුවිය යුතු බවට ද එම සංගමය ඉල්ලීම් කර තිබිණි.

වර්ජනය පැවතියද ළමා රෝහල්, ගැබිනි වාට්‌ටු, ඩෙංගු වාට්‌ටු, වකුගඩු වාට්‌ටු සහ වෙනත් හදිසි ප්‍රතිකාර සේවා නියමිත පරිදි සිදු කෙරෙන බවත් බාහිර හා සායන සේවා පමණක්‌ අත්හිටුවන බවත් ලේකම්වරයා කියා සිටියේය. රජය මේ පෙළගැසීම් නොසලකා තවදුරටත් කටයුතු කළහොත් අඛණ්‌ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවත් එය වැළැක්‌විය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment