16 July 2017

ඉන්දීය හදවතේ රාවය කමලා දාස්

මලයාලම් බසින් කෙටිකතා ලියූ ඇය ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ පද්‍ය නිර්මාණය කරනු ලැබුවා ය. කමලා දාස්ගේ ප්‍රථම පද්‍ය සංග්‍රහය වූ Summer In Culcata ඉන්දීය ඉංග්‍රීසි පද්‍ය සාහිත්‍යයේ දැල්වුණු නව ආලෝකයක් විය. කෙටිකතා සහ ආපදාන සම්බන්ධයෙන් ද කේරළයේ ප්‍රසිද්ධියක් ඉසිලූ ඇය විවිධ මාතෘකා යටතේ එනම් කාන්තාවගේ තත්ත්වය, ළමා ආරක්ෂාව, දේශපාලනය ආදි විවිධ මාතෘකා යටතේ තීරු ලිපි ලියූ රචිකාවක් ද වූවා ය.

1934 මාර්තු 31 දින කේරළයේ ත්‍රිශුර් දිස්ත්‍රික්කයේ පුනයාකුලම්හිදී උපත ලැබූ ඇයගේ දෙමාපියන් වූයේ වී.එම්. නයිර් සහ නලපත්බාලමනි. වී.එම්. නයිර් මලයාලම් දිනපතා පුවත්පතක් වූ මාතෘභූමිහි කළමනාකාර කර්තෘ ලෙස සේවය කළේය. අම්මා මාලයාලි සුප්‍රකට කිවිඳියකි. ඇය තම මව මෙන් කවි ලිවීමට ආශාව දැක්වූයේ ළාබාල වියේදී ම ය. ප්‍රකට ලේඛකයකුවූ නලපත් නාරායන් මෙනන් නම් වූ ඇගේ මාමා ඇයව උනන්දු කළේය.

මාධවකුට්ටි යන ආරූඪ නමින් ද පෙනී සිටි කමලා දාස් තම ළමා කාලය කල්කටාවේත් තම මවගේ පාරම්පරික නිවස පිහිටි පුනයාකලම්හිදීත් ගත කළාය.

15 හැවිරිදි වියේදී බැංකු නිලධාරියකු වූ මාධව දාස් සමඟ විවාහ වූ ඇයව ලේඛන කටයුතුවට දිරි ගැන්වූයේ ඇගේ සැමියායි. ඇය ඉංග්‍රිසි භාෂාවෙන් සහ මලයාලම් භාෂාවෙන් ලිවීම ආරම්භ කළා ය. 1960න් ආරම්භ වූ දශකය කලාව පිළිබඳ මහත් උද්යෝගයක් පැවති කාලයක් විය. ඒ කාලයේ ඉදිරියට පැමිණි ලේඛකයන් අතර කමලා දාස් ද වූවාය. ඒ කාලය තුළ ඇය ඉංග්‍රිසි භාෂාවෙන් පද්‍ය සංග්‍රහ හයක් පළ කළාය.

හතළිස් දෙවන වියේ පසුවෙද්දී ඇය තම ස්වයංලිඛිත අපදානය ප්‍රසිද්ධ කළාය. ‘මගේ කතාව’ නමින් මලයාලම් භාෂාවෙන් පළවූ ඒ කෘතිය ඇය විසින්ම ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය කරනු ලැබිණි. ඇගේ අපදානයේ ප්‍රබන්ධයක ලක්ෂණද ඇති බව ඇය පසුව පිළිගත්තාය.

“අපදානයක් ලිවීමේදී කිසිවක් නොසඟවා සම්පූර්ණ සත්‍යය ලිවිය යුතු බව සමහරෙක් මා සමඟ ප්‍රකාශ කළහ. එය හරියටම නිරුවත් වනවා වැනිය. මුලදී මම මගේ ආභරණ සහ ඇඳුම් ඉවත් කළ බව සැබෑය. ඊළඟට මම මගේ තළඑළලු හම ඉවත් කළෙමි. දැන් මගේ අස්ථි පෙනෙන්නට ඇත. එවිට මගේ අස්ථි අතරින් ඔබට නිවසක් නැති, රූමත් අනාථ දැරියක් දකින්නට ලැබෙන්නට ඇත.”

කවි ගායනා ඉදිරිපත් කිරීම සඳහා ලොව පුරා සංචාරය කළා ය. ජර්මනියේ බොන් සහ ඩියුස්බර්ග් විශ්වවිද්‍යාල, කැනඩාවේ මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවලත් ජැමෙයිකාව, සිංගප්පූරුව සහ ලන්ඩනයේ සංචාරය කළා ය. ඇගේ නිර්මාණ ප්‍රංස ස්පාඤ්ඤ රුසියන් ජර්මන් සහ ජපන් භාෂාවලට පරිවර්තනය කරනු ලැබ තිබේ.

කේරළ සාහිත්‍ය ඇකඩමියේ උපසභාපති ධුරයත් කේරළයේ වන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයත් කේරළ ළමා චිත්‍රපට සංසදයේ සභාපති තනතුරත් දැරූ ඇය කවි සඟරාවක සංස්කාරක පදවිය ද දැරුවාය. Illustrated Weekly of India පුවත්පතේ පද්‍ය අංශය භාර කතුවරිය ලෙස ද ඇය සේවය කළා ය.

රාජකීය උරුමයක් ඇති සාම්ප්‍රදායික හින්දු පවුලක උපත ලැබූ කමලා දාස් 1999 දෙසැම්බර් 11 වැනි දින මුස්ලිම් ආගම වැළඳ ගත්තා ය. එවකට හැටපස්වන වියේ පසුවූ ඇය කමලා සූර්යයා යන නමද ලබාගත්තා ය. මළසිරුරු ආදාහනය කිරීමේ හින්දු චාරිත්‍රයට තමා විරුද්ධ බව ඇය ප්‍රකාශ කළා ය. “මම මුස්ලිම් දරුවන් දෙදෙනෙකු හදා වඩා ගතිමි. මා ඉස්ලාම් ආගම වැලඳ ගැනීමට එක් හේතුවක් එයයි” යනුවෙන් ද ඇය පැවසුවාය.

ඇය දේශපාලන කටයුතුවලට ක්‍රියාකාරීව සහභාගි නොවූවත් දේශපාලනයට සම්බන්ධ කවි ලියුවේ අනාථ මවුවරුන්ගේ තත්වය වැඩි දියුණු කිරීමේ අරමුණිනි. 1984 දී ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවත් ඇයට ජයගත නොහැකි විය.

දරුවන් තිදෙනකුගේ මව වූ කමලා දාස් 2009 මැයි 31 වැනි දින පුනේ රෝහලකදී මිය ගියාය. ඒ වන විට ඇය හැත්තෑපස්වන වියේ පසු වූවාය.

1984 දී ඇය නෝබල් සාහිත්‍ය ත්‍යාග සඳහා ලැයිස්තු ගත කර සිටියාය. 1969 කේරළ සාහිත්‍ය ඇකඩමි සම්මාන­‍යෙනුත් 1985 සාහිත්‍ය ඇකඩමි සම්මානයෙනුත් පිදුම් ලැබූ ඇයට 2006 දී කැලිකට් විශ්වවිද්‍යාලය සාහිත්‍ය සූරී සම්මානය පිරිනැමුවේය.

කමලා දාස්ගේ අවසාන කෘතිය වූ The Kept Women and other Stories පළවූයේ ඇගේ මරණින් පසුවයි.

ඇගේ සිරුර පුනේ සිට කේරළයට ගෙන එන ලදුව පලායාම් මුස්ලිම් දේවස්ථානයේ මිහිදන් කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.

| බොබී ජී. බොතේජු

No comments:

Post a Comment