13 June 2017

දිවිගලවාගත් මාධ්‍යවේදියෙකු හෙළිකළ බිහිසුණු ඇත්ත


ඇන්තනි ලොයිඩ්, ටයිම්ස්‌ සගරාව වෙනුවෙන් වැඩ කළ බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියෙකි. ඇන්තනි ලොයිඩ් හා ඔහු සමග එකට වැඩ කළ ඡායාරූප ශිල්පී ජැක්‌ හිල් 2014 මැයි මාසයේදී සිරියාවට ගියේ යුධ තොරතුරු වාර්තාකරණය කිරීම පිණිසය. ඒ ගමනේදී ඇන්තනි ලොයිඩ්ව හා ඡායාරූප ශිල්පී ජැක්‌ හිල්ව ඔත්තුකරුවන් යෑයි සැක කොට සිරියානු සටන්කාමීන් විසින් පැහැරගනු ලැබිණ. බොහෝ විට ඉස්‌ලාමික රාජ්‍යයේ ත්‍රස්‌තවාදීන් විසින් තම ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ මෙසේ පැහැරගත් මාධ්‍යවේදීන් හා සංවිධාන ක්‍රියාකාරීන්ව වධ දී මරණ අයුරු දැක්‌වෙන වීඩියෝ ය.

මේ පිළිබඳව හොදින් දැන සිටි ඇන්තනි ලොයිඩ් හා ජැක්‌ හිල්, මේ උගුලෙන් පැන යැමෙන් මිසක වෙනත් අයුරකින් නම් තමන්ට ජීවිතය පිළිබඳව බලාපොරොත්තු තබා ගත නොහැකි වග දැන උන්හ. එනිසා ඔවුහු මේ ත්‍රස්‌තයින් වෙතින් පැන යන්නට උත්සාහ කළහ. අවාසනාවකට මෙන් ඔවුන්ගේ පළමු පැනයැමේ තැත වැරදී ගියේය.

නැවතත් සිරියානු විමුක්‌තිකාමීන් විසින් අල්ලාගනු ලැබූ ජැක්‌ හිල් හා ඇන්තනි ලොයිඩ්ට පැනයැමට තැත් කිරීමේ වරදට කකුල් වල වළලුකරට වෙඩි තබා එක්‌තැන් කරනු ලැබිණ.

තම දෑස්‌ දෙස බලාගෙනම තමන්ගේ කකුල් වලට වෙඩි තැබූ ත්‍රස්‌තයා ඇන්තනි ලොයිඩ්ට හොදින් මතක තිබිණ. ඒ බිහිසුණු ත්‍රස්‌තවාදියා වූයේ හකීම් අන්සා හෙවත් හකීම් අබු ජමාල්ය. පැන යැමට තැත් කළ වරදට දෙපාවලට වෙඩි තැබුවත් ඇන්තනි ලොයිඩ් හා ජැක්‌ හිල් මියගියේ නැත. එහෙත් මරණයටත් වඩා බියකරු අත්දැකීම් වලට මුහුණ පාන්නට නම් ඔවුන්ට සිදු විය.

තමා මෙන්ම විදේශික මාධ්‍යවේදී ප්‍රාණ ඇපකරුවන්ගේ බෙලි කපා ඝාතනය කරන අයුරු ඒ අසල හිඳ නරඹමින් මරණයේ බිය හොඳින් අත් විදින්නට ඔවුන්ට අවස්‌ථාව සලසනු ලැබිණ. බිහිසුණු හිංසනයන්ට මුහුණ දෙන්නට සිදුවිය.

ඇන්තනි ලොයිඩ් හා ජැක්‌ හිල් දෙවන වතාවටත් පැන යන්නට උත්සාහ කළහ. එවර උත්සාහය සාර්ථක විය. තුර්කියට පැන යන්නට ඔවුන්ට හැකි විය. තුර්කියේදී රෝහල්ගතවී ප්‍රතිකාර ලබා සුවවී නැවතත් තම මව්රට බලා එන්නට ඔවුන්ට හැකි විය.

සිරියාවේදී මරණයේ මුවවිටට ගිය අත්දැකීම නම් ඇන්තනි ලොයිඩ්ට අමතක වූයේ නැත. තම දෙපා වලට වෙඩි තැබූ බිහිසුණු ත්‍රස්‌තයාගේ මුහුණත් ඔහුගේ දෑස්‌ වල වියරු බැල්මත් ඇන්තනි ලොයිඩ්ට හොඳින් මතක තිබිණ.

ඒ ත්‍රස්‌තවාදියාගේ මුහුණ ඇන්තනි ලොයිඩ්ට නැවත දැකගන්නට ලැබුණේ ඊට අවුරුදු දෙකකට පසු 2016 දීය. ඒ සිරියානු යුධ බිමේදී නොවේ. එවකට උන් ඇමරිකානු ජනපති බැරැක්‌ ඔබාමා අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේ නව මිත්‍රපාක්‌ෂිකයින් ගැන කියූ වීඩියෝවේය. ඇන්තනි ලොයිඩ්ව පැහැරගත්, අමානුෂික වද හිංසා දුන් හකීම් අබු ජමාල්ව ඒ වීඩියෝවේ හදුන්වා දී තිබුණේ ඇමරිකානු සහය ඇති සිරියානු කැරලිකරුවන්ගෙන් කෙනෙකු ලෙසටය. ඔබාමාගේ සී අයි ඒ සංවිධානය විසින් මේ කැරලිකරුවන් හඳුන්වන්නේ මැදහත් මතධාරී මුස්‌ලිමුන් ලෙසිනි.

-ඒ මට වෙඩි තියපු හකීම් අන්සාමයි.. මම ඔහුව අන්තිමට දැක්‌කේ 2014 මැයි මාසෙදී.. මගේ අත් දෙක බැඳලා තියෙද්දී ඔහු මගේ වම් කකුලේ වළලුකරට වෙඩි තිබ්බා.. උතුරු සිරියාවේදී ඔහුගේ කල්ලියේ අත්අඩංගුවෙන් පැනලා යන්න උත්සාහ කරපු වරදට තමයි ඔහු මට වෙඩි තිබ්බේ.. ඔවුන් මාව අත්අඩංගුවට ගත්තේ මම සී. අයි. ඒ. ඔත්තුකාරයෙක්‌ කියලා චෝදනා කරමින්.. ඒත් දැන් බලනකොට සී. අයි. ඒ. එක වෙනුවෙන් වැඩ කරන්නේ ඔවුන්මයි.." ඇන්තනි ලොයිඩ් පවසයි.

මෙම බිහිසුණු ත්‍රස්‌තයා බැරැක්‌ ඔබාමාගේ වීඩියෝවට ආවේ කෙසේදැයි යන්න පිළිබඳව කතා කිරීම එක්‌සත් ජනපදයේ මධ්‍යම අණදෙන නිලධාරී විසින් ප්‍රතික්‌ෂේප කළ බව ඇන්තනි ලොයිඩ් පවසයි. එහෙත් හකීම් අන්සාට සහ ඔහුගේ පිරිසට ඇමරිකානු ගුවන් ආධාර නැවත නැවතත් ලැබුණු බව මෙකී නිලධාරියා දැනුවත්ව සිදුවී ඇති බව ඇන්තනි ලොයිඩ් අනාවරණය කරයි.

වසර හතරකට පෙර හකීම් අන්සා විසින් කළ යුධ අපරාධ නිව්යෝක්‌ ටයිම්ස්‌ සගරාව විසින් වාර්තා කොට ඇති අතර, හකීම් අන්සාගේ පසුබිම පිළිබඳව ඔබාමාගේ පරිපාලන ඒකකය හොඳින් දන්නා බවත් ප්‍රතික්‌ෂේප කළ නොහැකි කරුණකි.

ඔබාමාගේ සහය ලැබූ සිරියානු කැරලි කරුවන් දිගු යුධ අපරාධ ලැයිස්‌තුවකට හිමිකම් කියති. ඇමරිකානු ජනමාධ්‍යවේදී ෙ-ම්ස්‌ ෆොලී පැහැර ගැනීමද එයින් එකකි. කැරලිකරුවන් විසින් එසේ පැහැරගත් ෙ-ම්ස්‌ ෆොලීව අයි එස්‌ සංවිධානයට ඇති තම පක්‌ෂපාතිත්වය පෙන්වනු වස්‌ අයි එස්‌ අයි එස්‌ සංවිධානයට බාර දුන්නේද මේ කැරලිකරුවන්මය. පසුව ෙ-ම්ස්‌ ෆොලී නම් මාධ්‍යවේදියාව ගෙල සිඳ ඝාතනය කරන ලදී.

සිරියානු කැරලිකරුවන් විසින් කරන ලද බිහිසුණු යුධ අපරාධ ඇත්තේ එකක්‌ දෙකක්‌ නොවේ. ළමා සොල්දාදුවන් ගෙල සිඳ ඝාතනය කිරීමේ සිට සිවිල් වැසියන් මරා දැමීම දක්‌වා බොහෝ බිහිසුණු අපරාධ සිරියානු කැරලිකරුවන් විසින් සිදු කොට ඇත.

2008 දී ඔබාමා විසින් පාලනය බාරගන්නා අවස්‌ථාවේදී තැනින් තැන විසිර උන් ජිහාඩ්වාදී කල්ලි 2014 වන විට හොඳින් සංවිධානය වූ තිස්‌දාහකට අධික සන්නද්ධ හමුදා බවට සංවර්ධනය වූයේ ඉස්‌ලාමිකයින් කෙරේ වූ ඔබාමාගේ සානුකම්පිත ප්‍රතිපත්තිය නිසාවෙනි.

| නිම්මි මුදිතා හේරත්

1 comment:

  1. අපේ රටෙත් ඔහොම දේවල් වෙයි තව ටික කාලයක් යනකොට

    ReplyDelete